Monday, October 7, 2019

ගමයා,සූවස් ඇළ සහ මංගල දැයට කිරුළ...!

දවස් 2කට වගේ කලින්,
''ඔන්න ඔහේ ඕන දෙයක් වෙච්චාවේ!''
කියලා හිතලා,
ලියලා දාපු 'ගල් බෝලේ වික්‍රමයට'
හිතුවට වඩා හොඳ ප්‍රතිචාර ලැබුණා.
ප්‍රතිචාර දුන්න,නොදුන්න ඒ හැමෝටම ගොඩක් ස්තූතියි!
කාලය වැයකරගෙන මේ වගේ දේවල් ලියන්නේ පරණ කතා කියවන්න ආස අය ඉන්නවා කියලා හිතෙන නිසයි.
හරි දැන් කතාවට එමුකෝ!
එදා මම ලිව්ව කතාව හොස්ටල් එකේදි සිද්ධ උන දෙයක් උනාට,
අද ලියන මේ කතාවට නම් හොස්ටල් එක සම්බන්ධ නෑ!
අද ලියන මේ සිද්ධිය උනේ මම හොස්ටල් එකෙන් අයින්වෙලා ටිකක් කල් ගිහින්,
12 වසර C පංතියේ උසස් පෙළ කරමින් ඉන්නකොට.
හරියටම මේ සිද්ධිය උන අවුරුද්ද කිව්වොත් ඒ 2007 අවුරුද්ද.
උසස්පෙළට මම හැදෑරුවේ ගණිත විෂයන්...
ඕගොල්ලෝ සමහරවිට දන්නවත් ඇති!
සාමාන්‍ය පෙළෙන් පස්සේ උසස් පෙළ කරන්න එන සමහරුන්ට වැළඳෙන ලෙඩක් තියෙනවා.
ඒ ලෙඩේ මූලික ලක්ෂණ තමා,
සාමන්‍ය පෙළ ගණිතය විෂයට A සාමාර්ථයක් ගත්ත පළියට තමා උසස් මට්ටමේ ගණිතඥයෙක් බව තමාම විශ්වාස කරන්න පටන් ගැනීම.
ඕකට ගමේ ගොඩේ උන් නම් කියන්නේ 'ඇල්බට් උණ' කියලා.
මටත් ඔන්න ඔය ඇල්බට් උණ හැදුනා!
ඉතින් මං වගේම,
අවබෝධයක් ඇතුව හෝ නැතුව ඇල්බට් උණ හදාගත්‍ත,හැදුනු තවත් එවුන් ටිකක් තමයි 12 වසර C පංතියට ගාල්වෙලා හිටියේ.
පුංචි ප්‍රශ්නයක්,
සාමාන්‍යයෙන් උසස්පෙළ ගණිතය ඉගෙනගන්න කොල්ලෝ ටිකක් ඉන්න පංතියක් කියලා කිව්වම ඔයාලගේ හිතේ මැවෙන්නේ කොහොම රූපයක්ද?
සුපිරිසිදු පාසල් නිළ ඇඳුමෙන් සැරසී,
රැවුල සම්පූර්ණයෙන්ම මුඩුකොට,
කොණ්ඩය කොටට කපා පැත්තට පීරා සිටින,
කැඩපතක් මෙන් දිදුළන තුරු ඔපදැමූ පාවහන් පැලඳ,
තමාට නියමිත මේසය සමඟ ඇති පුටුව මත විනීතව අසුන්ගෙන සිටින,
අදාල විෂය ධාරාවන් වෙනුවෙන් ලබාදී ඇති පොත පත පරිශීලනය කරමින්,
ඉගැන්වීමේ යෙදෙන ගුරුවරුන් වෙත තම අවධානය යොමුකරමින්,
දැහැමින් සෙමෙන්,ඝෝෂා නොකරමින්,
හැසිරෙන කොල්ලෝ සෙට් එකක්ද?
හම්මෝ!
අපේ පංතිය නම් එහෙම තිබ්බෙම නෑ බං!
ඔය උඩ තියෙන ගුණාංග සෙට් එකෙන් අපේ උන් ටිකක් හරි පිළිපැදපු ගුණාංගේ පළවෙනි එක විතරයි.
ඒකත් හවස ප්‍රයිවට් ක්ලාස් නැති දවසට දවල් වෙනකොට දුඹුරු පාටයි.
හැබැයි හවස ක්ලාස් තියෙන දවසට එහෙම නෑ ඉතින්.
ක්ලාස් යනකොට දූවිලි නාගෙන යන එක,
අපේ ඉස්කෝලෙට හරි නෑනේ!
නැතුව එහෙම කරන්නේ ක්ලාස් වල ඉන්න කෙල්ලොන්ට අපිව ලස්සනට පේන්න ඕන නිසා නම් නෙවෙයි!
හැබැයි වැරදිලා හෝ,
මෝඩ වෙලා හෝ,
බැරි බැරි ගාතේ හරි මැත්ස් කරපු එක ගැන අදටත් මට නම් දුකක් නෑ.
ඒකට ප්‍රධානම හේතුව 12/13 - C පන්තියේ හිටපු කොල්ලෝ ටික.
ඒ නිසා ඔක්කොටම කලින්,
උන් ටික කොහොම ඩයල්ද කියලා දළ අදහසක් දෙන්නම්කෝ!
අපේ පන්‍තියේ ඩෙස්ක් ටික
පේලි සෙට් 3කට බෙදලා තිබ්බේ.
ඒ පේලි සෙට් 3න් මැද සෙට් එකේ ඉස්සරහම හිටියේ හරිම අහිංසක කොල්ලෝ 3දෙනෙක්.
උන් ආසාවකට කනට ඇහෙන්න කුණුහරුපයක් වත් නොකියපු එවුන්.
ඒත් ඉතින් අපේ දීර්ඝ කාලීන කැපවීම හා මඟපෙන්වීම මධ්‍යයේ,
උන් 3දෙනාවම අවසාන විභාගේ ලංවෙද්දි,
රටේ නැති සේරම කුණුහබ්බ ටික කියන,
කරන්න පුළුවන් අණ්ඩපාල වැඩ සේරම කරන,
රටට වැඩදායී පුද්ගලයින් බවට පත් කරන්න අපිට හැකි උනා!
උන් 3දෙනා ඇරුනම,
අපේ ඒලෙවල් පංතියේ හිටපු අනිත් උන්ගේ ජෛව විවිධත්වය ඉතාම ඉහළයි.
එකෙක්ට එකෙක් සම්පූර්ණයෙන්ම වෙනස්.
තනි තනියෙන් හැමෝම ගැන කියන්න ගියොත් නම් මේක අරාබි නිසොල්ලාසය වගේ වෙන්ඩ ඉඩ තියෙනවා.
ඒ නිසා ජීවත් වෙලා හිටියොත් ඉස්සරහට හෙමින් හෙමින් ඒ හැමෝම ගැන ලියන්නම්කෝ.
ඉතින් දැනට පංතියේ හිටපු උන්ට අමතරව,
සාමාන්‍යයෙන් උසස්පෙළ කරන්න අළුතෙන් කොල්ලෝ ඉස්කෝලෙට එනවනේ.
මට මතක විදියට අපේ පන්තියට එහෙම අළුතෙන් ආවේ එකම එක කොල්ලෙක් විතරයි.
ඒ කොල්ලා ආවේ හොරණ ඉඳලා.
ඌ තමා අද කතා නායකයා!
ඇත්තම කිව්වොත් උගේ මුල්
නම මතක නෑ මට.
වාසගම ගම්මන්පිල නිසා ඌට හැමෝම කියන්න පටන් ගත්තේ ගමයා කියන නම.
සාමාන්‍යයෙන් පංතියට අළුතෙන් එකෙක් ආවම ඌ හැසිරෙන්නේ ටිකක් ලැජ්ජාවෙන් වගේනේ.
ගමයා ආපු දවස්වල අපි තමයි ලැජ්ජාවෙන් හිටියේ.
ආපු දවසේ ඉඳලා ඌ හිටියේ හරියට අපි හිටිය බිල්ඩිමට මුල්ගල තිබ්බ එකා ඌ වගේ.
ගමයා නියම ජොලි පොර!
හැමෝම එක්ක ෆිට් එකේ ඉන්න එකෙක්.
ආව දවසට වාඩිවෙන්නේ මට එහාපැත්තේ පුටුවේ.
හැබැයි පොඩි අවුලකට තියෙන්නේ මූ වාරෙටම ඉස්කෝලේ එන්නේ දවස් 2ක් වගේ.
පැමිණීම අතිවිශිෂ්ටයි!
ඒ නිසා ඌට කියලා පුටුවක් නම් පස්සේ කාලේ වෙන්කරලා තිබ්බෙම නෑ.
ඉතින් මේ සිද්ධියත් උනේ ඌට ගෙදර ඉන්න කම්මැලි හිතුන නිසා,
ඉස්කෝලේ ආපු කාලකණ්ණි සඳුදා දවසක.
දැයට කිරුළ ප්‍රදර්ශනේ ගැන අහපු නැති එකෙක් නෑනේ,
2007 අවුරුද්දෙදි තමයි ඕක මුලින්ම පැවැත්වුනේ.
තිබ්බේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ.
අපේ ඉස්කෝලේ ඉඳලා විනාඩි 10,15ක දුර.
මේ සිද්ධිය උන දවස වෙනකොට ප්‍රදර්ශනය ආරම්භවෙලා තිබුණේ.
හැබැයි මට ඕක ගැන ඒ තරම් මතකයක් නම් තිබුණේ නෑ.
සති අන්තේ ගෙදර යන නිසා මම සඳුදට ඉස්කෝලේ එන්නේ රත්නපුරේ ඉඳලා,
ඇඳුම්,පොත් සේරම උස්සන් එන්න ඕන නිසා එදාට තඩි ට්‍රැවලින් බෑග් එකක් කරේ එල්ලන් තමා ඉස්කෝලෙට එන්නේ.
ඉතින් මේ කියන මූසලම මූසල සඳුදා,
ඉස්කෝලේ පටන් අරන් පළවෙනි පීරියඩ් එකේදිම ගමයා මට අදහසක් ඉදිරිපත් කලා.
ඒ තමයි,
ලිඛිත අභ්‍යාස වගේම,
ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලටත් යොමුවෙන එක අත්‍යවශ්‍යම කාරණයක් කියන එක.
මාත් ඉතින් ඒක ඉස්මුදුනින්ම පිළිගත්තා.
උගේ යෝජනාව සර්ව සාධාරණයි.
හා නැද්ද?
"ඉතින් කොහොමද අපි උඹ ඔය කියන ජාතියේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලට යොමුවෙන්නේ..?
එහෙම අවස්ථාවක් නෑනේ බන් අපිට...!"
කියලා මං ඌට කිව්වා.
අඟහරු ග්‍රහයගේ තියෙන ආවාට,කඳු හා සමානවම වලවල්,කුරුලෑ සම සමව පිහිටලා තිබ්බ ගමයගේ මූණේ
ලස්සන වැඩිකරපු,
උගේ කටේ ඉස්සරහම තියෙන දත් දෙක පිහිටලා තියෙන්නේ හරියට හාවෙක්ගේ ඉස්සරහ දත් තියෙනවා වගේමයි.
සමහර වෙලාවට ඌ හිනාවෙනකොට කට වහලා ඔය දත් දෙක විතරක් එළියට දාලා දත් දෙකෙන් විතරක් හිනාවෙනවා.
ඒ වෙන මොකක්වත් හින්දා නෙවේ ඌට හිනාවෙන්න කම්මැලි නිසා.
ඉතින් මම අර ප්‍රශ්නේ අහපු වෙලෙත් ඌ උගේ ඒ ලෙජන්ඩරි හිනාව දැම්මා.
"ඕවටද බං ක්‍රම නැත්තේ?"
ඌ කිව්වා.
ඊටපස්සේ තමයි ඌ මේ අහවල් ප්‍රදර්ශනය ගැන මට මතක් කලේ.
ප්‍රදර්ශනය ඇත්තටම සංවිධානය කරන එකෙක් විස්තර කරනවටත් වඩා හොඳට ඌ මට ඒක ගැන විස්තර කරලා,
ප්‍රදර්ශනයේ අරමුණ,සිතියම,ව්‍යුහය ගැන
සංක්ෂිප්ත වාර්තාවක් ලබාදුන්නා.
ලිඛිතව නම් නෙවේ,
කටින් තමා කිව්වේ.
ඉතින් ඕකට අහිංසක මාත් රැවටුණා...
ඔය සේරම හරි කියමුකෝ.
කොහොමද අපි දැන් අපි මේ දැයට කිරුළ බලන්න යන්නේ?
ඉස්කෝලේ ඇරිලා ඕක බලන්න යන්නත් වෙලා මදිනේ?
ඕක තමා ඊළඟට අපිට පැන නැගුණු ගැටළුව.
එදා අපේ කාලසටහනේ මුල් පීරියඩ් දෙකම වෙන්වෙලා තිබ්බේ සංයුක්ත ගණිතයට.
ඒ විෂය අපිට ඉගැන්නුවේ අපේ පංතිභාර කරවිට සර්,
අනේ හරිම ගුණයහපත් මනුස්සයා...
අපේ උන් ඒ මනුස්සයගේ කනෙන් රිංගන වාර ගණන කොයිතරම්ද කියනවනම්,
ඒ දවස්වලට සර්ට කන හාරන්න කොට්න් බඩ්ස්වලට වියදම් කරන්න ඕන උනේම නෑ.
"දෙවෙනි පීරියඩ් එක ඉවරවෙලා කරා සර් පංතියෙන් එළියට ගිය ගමන් බෑග් එක අරන් එළියට බැහැපන් මගේ මිත්‍රයා.."
හරියට වොට්සන්ට හෝම්ස් කියනවා වගේ ගමයා මට කිව්වා.
මාත් වැඩේට ඕකේ උනා.
අන්තිමට පීරියඩ් දෙක ඉවර උනා.
කරා සර් ගිය ගමන් මායි ගමයයි බෑග් කරේ තියාගෙන එලියට බැස්සා.
ඊළඟ ප්‍රශ්නේ,
දැන් කොහෙන්ද එළියට යන්නේ?
ග්‍රවුන්ඩ් එකේ තාප්පෙන් පනින්නත් බෑ,
හැමෝටම පේනවා!
ඒ නිසා වැඩේ කරන්න පොදු පැනීම් ස්ථානයට යන්න අපි තීරණය කලා.
මම මේ කියන පොදු පැනීම් ස්ථානයට හැමෝම වගේ කිව්වේ සූවස් ඇළ කියලා.
ඒකට සූවස් ඇල කියලා කියන්නේ බාස්කට්බෝල් කෝට් එකේ තාප්පෙයි ඉස්කෝලේ ප්‍රයිමරිය පැත්තෙන් ඉස්සරහ තිබ්බ ප්‍රභාත් හෝටලයේ මායිමයි මැද්දෙන් ගියපු දඩාර සයිස් කුණු කාණුව නිසා.
අන්න ඒවා තමා පරිපූර්ණ කුණු කාණු...!
ආවර්තිතා වගුවේ නැති මූලද්‍රව්‍යත් ඒ කුණු කාණුවේ ඔබට දැකගන්න පුළුවන්.
අපේ අවාසනාවන්ත කමට,
ඉස්කෝලෙන් පනින්න නම් මේ සූවස් ඇළ තරණය කරන්නම වෙනවා.
කොහොම උනත් අවදානමක් නැති ගමනෙන් අනාගතය ගොඩ නගාගන්න අමාරු නිසා,
අකමැත්තෙන් හරි අපි ඔය කියන තැන තිබ්බ බාස්කට්බෝල් කෝට් එක අස්සට ආවා.
මුලින්ම නගින්න ඕන බාස්කට්බෝල් කෝට් එකේ සයිඩ් පැවිලියන් එකේ වහලෙට.
එතනින් ඉස්කෝලේ තාප්පෙට.
තාප්පේ ඉඳලා එහා ඉවුරට යන්න නම් එතන තිබ්බ ගහේ අත්ත දිගේ තමයි හෙමීට යන්න ඕන.
යට සූවස් ඇල.
ඉතින් මුලින්ම මම නැග්ගා.
බෑග් එක බර නිසා ගමයට බෑග් එක දුන්නා මම ගියාට පස්සේ උඩින් දාපන් කියලා.
හරියට ඉන්ඩියානා ජෝන්ස් ඇන්ඩ් ද ලාස්ට් කෲසේඩ් චිත්‍රපටියේ අවසාන දර්ශනය හැරිසන් ෆෝඩ් රඟදැක්වුවා වගේ අති දක්ෂ ආකාරයෙන් අත්ත උඩින් ගිහින් ලස්සනට මම එහා ඉවුරට බැහැගත්තා.
ඉතා ප්‍රසන්න සුවඳක් තමා අවට තිබුණේ...
"හරි මං බැස්සා.බෑග් එක දාපන්...!"
කියලා ඉවරකරන්න උනේ නෑ.
මගේ පතරංග බෑග් එක උඩින් ඇවිල්ලා මට අඩි 4ක් විතර ඉස්සරහින් කුණු කාණුවට වැටුනා....!
"ගමයෝ හුx@&%, තෝ නි&$**$"
හද පත්ලෙන්ම ඌ කෙරේ දැනුණු ආදරේට මට එහෙම කියවුනා.
කාලා වරෙන්කෝ,
ගමයා හෑවා...
දැයට කිරුළ තමයි දැන්.
මගේ පොත්,ඇඳුම් සේරම සූවස් ඇලේ.
"ඇයි ඇයි මොකෝ උනේ?"
අර පොල් දත් දෙකෙන් විරිත්තන ගමන් ඉස්කෝලේ තාප්පේ උඩින් ඔලුව දාලා ගමයා ඇහුවා.
"උනා නෙවේ උඹ රුන්x"
මම කිව්වා.
කොහොමහරි විනාඩි 5ක් වගේ යනකොට ගමයත් මේ පැත්තට ආවා.
"දැන් මොකෝ බං අපි කරන්නේ"
ගමයා ඇහුවා.
"මොනා කරන්නද බහිමු"
කියලා මම කලිසම උස්සලා නවාගෙන සපත්තු ගලෝලා අයිනෙන් තියලා නහය අල්ලන් කාණුවට බැස්සා.
අරූත් එහෙම්ම කලා.
"ඒ මේ බලපන් මේකේ ගප්පිත්
ඉන්නවා බං"
මේ හොම්බෙන් යන්ඩ කෙලවෙලා ඉන්න,මල රෙද්දක් වෙලා තියෙද්දිත්, ගමයා ඔහොම එකකුත් මට පෙන්නුවා.
"අනේ මේ උඹ xකාxxx"
මම කිව්වා.
මෙතන නැතුව වෙන තැනක ඔහොම එකක් කිව්වා නම් පෙන්නනවා මම ඌට ගප්පියව.
ඔහොම ගිහින් අන්‍තිමට අපි කුණු වතුර බේරි බේරි බෑග් එක උස්සන් ඇවිත් කණ්ඩිය උඩ තිබ්බා.
පොත් සේරම විසිකලා.
කොහොමත් ඉතින් දරුණුවට ඒවයේ අභ්‍යාස කරලා තිබ්බෙත් නැති නිසා අවුලක් උනේ නෑ.
ඇඳුම් තියාගත්තා.
මායි ගමයයි ආපහු සපත්තු දාගෙන,
බෑග් එකේ පැත්තෙන් තියෙන පටි දෙක
දෙන්නා දෙපැත්තෙන් අල්ලන්,
ප්‍රභාත් එක හරියෙන් එළියට ආවා.
වෙලාවට කවුරුත් දැක්කේ නෑ.
මේක අරන් දැයට කිරුළ බලන්න යන්න බෑනේ ඉතින්.
හොඳ වෙලාවට අපේ ආච්චි අම්මා කෙනෙක් වැලිකඩ බන්ධනාගාරේ හිටියා.
එහේට යන්න තමා තීරණය කලේ.
හා හා වරදවා වටහාගන්න එපා...
ආදරේට හැමෝම සුදු පීයා කියපු මගේ ආච්චි අම්මා හිටියේ වැලිකඩ බන්ධනාගාර නිළධාරී නිල නිවාස වල.
එහෙට යන්න තමා දැන් මේ හදන්නේ.
හෙමින් හෙම්න් මායි ගමයයි ගඳ ගහ ගහ දැන් බන්ධනාගාරේ පැත්තට යන්න පටන් ගත්තා.
හත්වලාමයි...!
මේං අපේ පන්තියේ මාධවයා බඩු
වගයක් අරගන්න එළියට ඇවිත්
ආපිට ඉස්කෝලෙට යනවා.
මූ අපිව දැක්කා ඕයි!
කිංඩි හිනාවකුත් දාන් ආවා ලඟට.
ඌට ඇත්තම සිද්ධිය කියන්න උනා ඉතින්,
මක් කොරම්ද?
සරම බිම...!
එදා ආච්චි අම්මලගේ ගෙදර ගිහින් ඇඳුම් හෝදන් එහෙම්ම මම පන්නිපිටියේ බෝඩිමට ගියා.
ගමයා නම් අර මඟුල බලන්න ගියා.
ඊළඟ දවසේ පංතියට යනකොට මාධවයා කෝපි කඩේ මුවා වගේ මුළු ගමම ගිනි තියලා...!
අපේම එන්සිනාලා,දයාවතීලා,සුගතන්ලා සේරම එකතුවෙලා මට අරින්ඩ දත මැදන් බලන් උන්නේ.
සතියක් විතර මම උඩමයි හිටියේ,
බයිට් වෙලාම මහන්සියි!
"එතකොට කෝ ගමයා බං..?"
කාටහරි එහෙම හිතෙයි.
ආච්ච්ගේ රෙද්ද,
ගමයා ආපහු ඉස්කෝලේ ආවේ ඊළඟ වාරෙද කොහෙද?
ඌ ආපහු එනකොට අපේ උන්ට බෑග් එකක් තියා ඌව වත් මතක නෑ.
ගමයා අන්තිම කාලේ ඉස්කෝලේ
ආවෙම නෑ.
දෙමාපිය රැස්වීම්වලට ඉස්කෝලෙට එන අම්මලා පවා ගමයට වඩා වාර ගණනක් ඉස්කෝලෙට ඇවිත් ඇති.
ඒ තරම් දුර්ලභ පොරක් ඌ.
දැන් ඌ කොහෙද මන්දා?
විභාගේ ලිව්වෙත් නෑ.
කොහොමත් පැමිණීම 3%ක් වගේ තියෙනකොට ලියන්න දෙන්නෙත් නෑනේ.
ඌ දැන් ඉන්න තැනක් හොයාගන්න ක්‍රමේකුත් නෑ.
දුකයි දුකයි දුකයි...!
ඔයාලා එහෙම කෙනෙක් ගැන දන්නවනම් කියන්න.
නොකිව්වත් අවුලක් නෑ ඉතින්.
එහෙනම්,
නැවත හමුවන තුරු ඔබට ජය...!
- හේලිත හෙට්ටිආරච්චි -

No comments:

Post a Comment

Most Popular Post

මරදානේ ඉන්ටර්නෙට් කැෆේ!