Saturday, October 5, 2019

- ගල් බෝලේ වික්‍රමය -



මොකද්ද යකෝ ඒ වඳුරු කුණුහබ්බේ?
කියලා මාතෘකාව දකින අයට හිතෙන්න නම් ඉඩ තියෙනවා.
ඉවසලා ඉන්න,
කතාව ඉවරවෙනකොට වැඩේ ගැන අනිවාර්යයෙන්ම කට්ටියටම තේරුම් යන එක ඒකාන්තයි.
මේ වෙනකොට මම ක්‍රිකට් කතා නම් ගොඩක් ලියලා තියෙනවා.
හැබැයි පෞද්ගලිකව අත්දැකපු දේවල් ගැන ලියපු කතා නම් එහෙමට මගේ අතින් ලියවෙලා නෑ.
ලියන්න කම්මැලිකමයි,
ලිව්වම මරණ තර්ජන එන්න තියෙන සම්භාවිතාව අනුමාන කරපු එකයි තමයි ඒකට ප්‍රධාන හේතු 2 උනේ.
ඒත් මේ ලඟදි ඉඳලා අපේම ඉස්කෝලේ 'ටයිපසන්' අයියගේ කතාමාලාව දැක්කම මට හිතුනා යකෝ මේ යකා මේවා ලියලා පණපිටින් ඉන්නවානම් මට බැරි මොකෝ මගේ එව්වා ලියලා පාඩුවේ ඉන්ඩ කියලා.
හැබැයි ටයි අයියගේ කතාවල රහ නම් මේකේ හොයන්ඩ එපා හොඳේ.
හම්බෙන එකක් නෑ!
එහෙම බැලුවම පාඩුවේ හිටපු මට ඉතින් මේවා ලියන්න ධෛර්යය ලබාදුන්න ටයිපසන් අයියට අනේක වාරයක් පිංසිද්ධ වෙන්ඩ ඕන!
එහෙනම් වැල ඇති දැන් කතාවට එමු!
මම ඉපදුනේ රුවන්පුරේ.
නිදහස් අධ්‍යාපනේට පිංසිද්ධ වෙන්ඩ යාන්තං 2000 අවුරුද්දෙදි මාත් ආවා කොළඹ ඉස්කෝලෙකට ශිෂ්‍යත්වේ පාස් වෙලා.
මගේ වෙලාවට එහෙම ආවේ කොළඹ පිහිටලා තිබ්බ ආතල්ම ජීවීන් ඉන්න ඉස්කෝලෙකට.
ඒ කියන්නේ කොළඹ 10 තියෙන නාලන්දාවට.
මට දෙයක් ලැබුනා නම් ඒ ලැබුන හැමදේටම නාලන්දා අම්මට අයිතියක් තියෙනවා.
නාලන්දේ ගියපු,යන උන්ට තරහකාරයෝ නම් ඉන්නවා කියලා හිතන්නේ නෑ!
ඒ මොකද එහෙන් මෙහෙන් කචල් කේස් එකක් දෙකක් හිටියට හිටපු,ඉන්න කොල්ලෝ ඔක්කොම රත්තරන් එවුන්.
ඉතින් 2000 අවුරුද්දෙදි එහෙම ආවට පස්සේ මම ඩොටේ එකෙක් නිසා දිනපතා ගෙදර ඉඳන් ඉස්කෝලේ එන්ඩ බැරිකම නිසා මාව නැවැත්තුවේ හොස්ටල් එකේ.
ඒ කියන්නේ පැය 24ම ඉස්කෝලේ.
ඔහොම ඉන්නකොට කරපු,දැකපු ඒවා ලියන්න පුළුවන් පොත් පිරෙන්ඩ.
මාව හොස්ටල් එකේ නැවැත්තුවා කියමුකෝ.
මං වගේම 6 වසරට 2000 අවුරුද්දෙදි නාලන්දේ හොස්ටල් එකට ආවා කොල්ලෝ 31ක්.
සමහර උන් මඟදි එහේ මෙහේ උනා.
හිටපු සමහර උන් ගියා.
සමහර උන් අළුතෙන් ආවා.
හැබැයි අද කතාවේ කතා නායකයා නම් ආපු දවසේ ඉඳන්ම ආතල් දිදී හොස්ටල් එකේම හිටියා.
උගේ නම කෙලින්ම කියන එක හරි නැති නිසා අපි ඌට පරා කියමුකෝ.
පරා පට්ට මීටරේ...!
හැබැයි මුගේ එක දුර්වලකමක් තිබ්බා.
මූ අම්බ පෙරේතයා.
මූ විතරක් නෙවේ හොස්ටල් හිටපු අපි හැමෝම පෙරේතයෝ තමයි.
කොන්ක්‍රීට් උනත් පරිප්පු එක්ක හරි කන ජාතියේ ඩයල්.
හැබැයි පරා එක්‍ස්ට්‍රා ඕඩිනරි ඩයල් එකක්!
ඉතින් මම කියන්න යන මේ කතාව පරාට උනේ 6 වසරෙදි 7 වසරෙදි එහෙම නම් නෙවේ.
දිග කලිසම් අඳින 10 වසරේ කාලේ තමයි මේක උනේ.
පරා පොත පතට සීමාවෙලා හිටපු එකෙක් නෙවේ,පොර හෙණ ස්පෝටි ඩයල් එක.
නොකරපු ලබ්බක් නෑ!
වොලිබෝල්ද,රගර්ද,ක්‍රිකට්ද,ෆුට්බෝල්ද,
චෙස්ද ඔය එකී මෙකී නොකී හැම ලබ්බම පොර කලා.
හැබැයි අවාසනාවකට පොර
'බැලුවොත් ප්‍රැක්ටිස් ගැහුවොත් පරාදයි' කැටගරියේ ඩයල් එකක්.
උස්සපු කප් එකක් නැහැ.
එහෙන් මෙහෙන් ආබාධිත උනා ඇරෙන්න.
පරාගේ ක්‍රිකට් ආබාධ ගැන වෙනමම සීරීස් එකක් ලියන්න පුළුවන්.
ඇයි වොලිබෝල්?
එකපාරක් ඩෑශ් එකක් ගොඩගන්න ගිහින් කෝට් එකේ අයිනේ කාණුවක හිරවෙලා ඉස්සුවේ සවලක් දාලා.
හැබැයි මේ කතාව ෆුට්බෝල් නිසා උන එකක්.
හොස්ටල් එකේ හිටපු අපි හැමෝම හවසට ඉස්කෝලේ ග්‍රවුන්ඩ් එකට එනවා.
එක්කෝ මොනාහරි ප්‍රැක්ටිස්.
නැත්නම් දෙකට බෙදිලා ෆුට්බෝල්,ක්‍රිකට් මැච් එකක් ගහන්ඩ.
ඉතින් ඔහොම ආපු දවසක අපේ එකෙක් දැකලා තිබ්බා ලස්සන බෝලයක්.
බෝලයක් කිව්වට ඒක දැක්කම නම් පේන්නේ කඩදාසි අලෝලා හදපු එකක් වගේ.
ඉතින් ඔහොම එකක් දැක්කම අපේ කස්ස පසනවනේ ඕකට පයින් ගහනකන්.
මුලින්ම දැකපු එකා ඕකට හෙමින් පයින් ගහලා.
හම්මද බොල!
බෝලේ යාන්තම් හෙලවුනා විතරයිලු,
හෙමින් ගහලත් අරූගේ කකුලට හික් ගෑවුනාලු.
යකෝ මේක කඩදාසි බෝලයක් නෙවේ.
ගල්ම ගල් වගේ කොන්ක්‍රීට් බෝලයක්.
මොන යකෙක් මොන අලුගුත්තේරු වැඩකට හැදුවද,
මේක අපේ ග්‍රවුන්ඩ් එකට කොහොම ආවද කියන එකනම් අදටත් අපි දන්නේ නෑ.
කොහොමහරි මුලින් පයින් ගහපු එකා මේක එතනම තියලා ආපිට එන්න ඇවිත්.
හැබැයි තව අපේම කාපාලුවෝ රෑනකට කොහොමහරි මේ ගල්බෝලේ අහුවෙලා.
සමහරක් උන් පයිනුත් ගහලා.
ලොකු ආබාධයක් වෙලා නෑ.
වැඩේ කියන්නේ මේ හැත්ත මේක උස්සන් ඇවිල්ලා අපේ හොස්ටල් එකේ ඩෝම් එකට.
වෙන මොකටද ඉතින් කාටහරි කෙලවන්ඩ තමයි.
මතක තියාගන්න මේ සිද්ධි දාමය උනේ සෙනසුරාදා දවසක.
තිස්සමහාරාමේ,දෙහිඅත්තකණ්ඩියේ වගේ අම්බ ඩොටේ ඩයල් ඇරෙන්න ලඟ ඩොටේ එවුන් සිකුරාදා ගෙදර යනවා ගොඩක් වෙලාවට.
ඉතින් ලඟ හිටපු අපේ පරාත් මේ සිද්ධිය ගැන හාංකවිසියක් දැනුවත් නෑ.
අඩුමගානේ ගල්බෝලේ දැකලවත් නෑ.
සෙනසුරාදානේ ඕක උනේ.
ඉතින් ඊළඟ දවස එහෙමත් නැත්නම් ඒ කාලකණ්ණි,මූසල,තීරණාත්මක ඉරිදා දවස උදාවුනාට පස්සේ අපේ පරා එනවා හොස්ටල් එකට.
පරා ගෙදර ඉඳන් එනවා ඈත තියා දැක්කම අපේ සෙට් එකේ හිටපු මොළ කන්නා නැත්නම් ප්‍රෑංගේ ඔළුවට අපූරු සජෙශන් එකක් ආවා.
ඒක තමයි මේ ගල්බෝලෙට පරාගේ සුන්දර කකුල් ලව්වා දැනෙන්න පාරක් ගස්සන්න.
ඉතින් කොහොමද මේක කරන්නේ?
හරි වැඩේ අල්ලගත්තා.
පරාගේ වීක්නස් එකට තමයි කෙලින්න ඕන.
මොකද්ද වීක්නස් එක?
අර මම කිව්වා වගේ මූ අමු බඩජාරියානේ.
කන්න දෙයක් තියෙනවා කිව්වොත් පරා පොඩ්ඩා ඕන දෙයක් කරයි.
හැබැයි අවුලකට තියෙන්නේ ගෙදර ගියපු නැති හොස්ටල් එකේම ඉන්න ඩයල් ගාව කොහෙන්ද කෑම?
හරි,
සල්ලි තියෙනවනම් කෑම ගන්න පුළුවන්නේ.
එහෙන් මෙහෙන් සල්ලි එකතුකරලා වැඩේ කොහොමහරි ගානට ලයින් කරා.
ප්‍රෑං විතරක් නෙවේ මහමොළකරුවෝ සියල්ලම දැන් ගේමේ ඉන්නේ.
ඔක්කොම කතාකරන්.
පරා ආවා ඩෝම් එකට.
එනකොට ගල් බෝලේ ඩෝම් එක මැද්දෑවෙම දිලිසි දිලිසි තියෙනවා.
අපේ උනුත් රඟපෑවේ ඕකෙන් සෙල්ලම් කලා වගේ.
කබඩ් එහෙම ඇත් කරලා ගෝල් එකක් හදලා ගල්බෝලෙන් ෆුට්බෝල් ගහනවා වගේ තමා පෙන්නුවේ.
පරා ඩෝම් එකට ආපු ගමන්ම කට්‍ටිය,
''හම්මට පරාත් ආවා,
එහෙනම් ඔට්ටුවක් දාලා ෆුට්බෝල් ගහන වැඩේට පරාවත් ගමු!"
කියලා මූව ව්‍යංගයෙන් ෆෝම් කලා.
එහෙන් මෙහෙන් එක,එකා - එක,එක කතා කියනවා.
එකෙක් කියනවා මූට ගෝල් නම්
ගහන්න බෑලු,
තව එකෙක් කියනවා පුළුවන්ලු.
කොහොමහරි වැඩේට පරාගේ අවධානය යොමු උනා.
අවසානෙට තීරණය උනේ ගෝල් එකක් ගැහුවොත් පරාට රු10/=ක ත්‍යාගයක් ලබාදෙන්න තමා.
ඌත් කැමති උනා.
බෝලෙත් එහෙම්ම තියෙනවා එතනම.
ගෝල් කීපරුත් රෙඩි.
පරා ආවා දුවගෙන,
ගහන්න පුළුවන් උපරිම වේගෙන් ගැහුවා බෝලෙට.
යකෝ ගල් බෝලේ අඩි 15ක් විතර ඉස්සරහට ගියා හෙණ වේගෙන්.
පරා බෝලෙට ගහන්න කලින් හිටපු ගෝල් කීපර් හොයන්ඩත් නෑ.
කවුද බන් ගල් බෝලයක් වේගෙන්
එනකොට ඒක අල්ලන්න ඔතනට වෙලා බලන් ඉන්නේ?
හම්මට සිරි!
පරාට අම්බානක රිදුණා.
හැබැයි නෝන්ඩි නිසා පෙන්නුවේ නෑ.
හි හි හි ගාලා උගේ ආවේනික හිනාව දාලා හිනාවෙලා උගේ ඇඳ උඩට ඇවිල්ලා වාඩි උනා.
යකෝ විනාඩි 10යි ගියේ.
මුගේ කකුල බරවා කකුල වගේ උනා.
ඕන් දැන් තමා මොළකාරයෝ සෙට් එකට දාඩිය දාන්න ගත්තේ.
ඇයි ඉතින් වෝඩ්න් නිදාන කතාව ඇහුවම කෙලවෙන්නේ උන්ටනේ.
ගොඩින් වැඩේ බේරන්න බැලුවා!
හුම්!
අමාරුයි!
ඇක්සිඩන්ට් වෝඩ් යන්න වෙන යන ලයින් එකක් පෙන්නුම් කරන්නේ.
කොහොමහරි අන්තිමට වෝඩ්න් ගාවට එක්කන් ගියා පරාව.
ගිහිල්ලා වෝඩ්න්ට වැඩේ විස්තර කලා එකෙක් බයෙන් බයෙන්.
ඒක ඇහුවට පස්සේ වෝඩ්න්ගේ ඇස් නළලේ.
වෝඩ්න් එකපාරටම කිව්වා,
''ටක්ගාලා ගිහින් රත්කරපු පොල්තෙල් ටිකක් අරන් වරෙන්'' කියලා.
එතන හිටපු එකෙක් ඇහුවා,
''ඇයි සර් රත්කරපු පොල්තෙල් ගෑවම අඩුවෙනවද?'' කියලා.
වෝඩ්න් පරාව පෙන්නලා කියාපි,
''නෑ, රත්කරපු පොල්තෙල් ගාන්නේ මුගේ අං දෙක පීදෙන්න'' කියලා.
අපේ උන් බක බක ගාලා හිනාවෙනවා.
කොටින්ම කියනවනම් හික් ගෑවිලා ඉන්න පරාටත් හිනාගියා.
එදා ඉතින් ඉස්පිරිතාලෙට එක්කන් ගිහින් බෙහෙත් ගාලා පරාව ගොඩදාගත්තා කොහොමහරි.
හැබැයි ඒ පරා දැන් අර වගේ ගොන් වැඩ නම් කරන්නෑ.
ඌ දැන් ආරක්ෂක සේවයේ ඉහළ නිළධාරියෙක්.
කාලෙකින් දැක්කේ නැති උනත් ෆිට් එක එහෙම්මයි.
කතාව ඉවරයි!
එහෙනම් ආයෙත් හමුවෙන තුරු ඔබට ජය!
- හේලිත හෙට්ටිආරච්චි -

No comments:

Post a Comment

Most Popular Post

මරදානේ ඉන්ටර්නෙට් කැෆේ!